අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා
සිවිල් හා  දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට  අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා  ගොනු කර ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.
තොරතුරු දැන ගැනීමේ පනත අනුව සමාජය හා සාමයික කේන්ද්‍රය (සීඑස්ආර්) කළ ඉල්ලීමකට අදාල තොරතුරු මුදා හරිමින් පොලිසිය මේ බව සඳහන් කරයි.
මෙම පනත යටතේ 2017 වසරේ දී 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා  නීතිපති උපදෙස් අනුව මුදා හැර තිබේ. 2017 වසරේ ගිංතොට සිදුවීමට අදාලව ‍මම පිරිස අත්අඩංගුවට ‍ගෙන තිබුණේ 2017 නොවැම්බර් මස 16 වැනිදාය. ඊට අදාල පැමිණිල්ල ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති අතර සැකකරුවන් 19 දෙනා මුදා හරින ලෙස නීතිපති උපදෙස් ලැබීමෙන් පසු සැකකරුවන් මුදා හැර තිබේ.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වසරේදීය. ඒ මහනුවර දිගන ප්‍රදේශයේ සහ ඒ ආශ්‍රිතව ඇතිවූ     සිංහල මුස්ලිම් ගැටුම්වලට සමගාමීව වේ. 2018 වසරේ දී ‍මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් 43කට අදාලව මේ වන විට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
2019 වසරේ දී මෙම පනත යටතේ 08 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් දෙදෙනකු නීතිපති උපදෙස් අනුව මුදා හැර තිබේ. 2019 සැප්තැම්බර් පස් වැනිදා  අත්අඩංගුවට ගත් පුත්තලමේ පුද්ගලයකුට අදාලව අධිචෝදනා ගොනු කිරීමට නියමිත අතර සෙසු පිරිසට අදාලව මේ වන තෙක් නීතිපති උපදෙස් ලැබී නැත. 2019 වසරේ මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් පිරිස අතර ආරණ්‍ය සේනාසනයකට යන මාර්ගයේ ගසා තිබූ බෞද්ධ කොඩි සෙරා ගත් බව කියන දෙදෙනෙක් ද සිටිති. ඔවුන් දෙදෙනා  වැලිකන්ද පොලිසියෙන් 2019 මාර්තු 28 අත්අඩංගුවට ගෙන මාර්තු 29 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකකට වැඩි කාලයක් රිමාන්ඩ් බාරයේ සිට 2021 ජුනි 07 වැනිදා  ඇප ලබා තිබේ.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ 2020 වසරේ දී අත්අඩංගුවට ගෙන ඇති ප්‍රමාණය 26 දෙ‍නකි. ඔවුන් කිසිවකුට එරෙහිව අධිචෝදනා ගොනු කර නොමැත. මෙම පිරිසෙන් හත් දෙනෙක් කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නාවික හමුදා වේ දෙදෙනකුට අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙනි. 2021 වසරේ දී ‍මෙම පනත යටතේ එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට වෙනත් නීතියක් යටතේ අධිචෝදනා භාර දීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
2022 වසරේ දී මෙම පනත යටතේ කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත්, 2023 වසරේ පළමු මාස හතරේ තුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් පෙලිසිය පවසයි. එම තිදෙනාගෙන් එක් අයකු වරද පිළිගැනීම මත නඩුව අවසන් කර ඇති බවත්, තවත් අයකුට එරෙහිව අධිචෝදනා ගෙනු කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිසිය ලබා දුන් මෙම තොරතුරුව ඇතැම් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නම් නොමැති බව ඒවා පරීක්ෂා කරද්දී පෙනී යයි. 2019 දී අත්අඩංගුවට ගත් ශක්තික සත්කුමාරගේ, 2020 දී අත්අඩංගුවට ගත් රම්සි රාසික්ගේ ආදී නම පවා මෙම ලැයිස්තුවේ නොමැතිවීම විශේෂත්වයකි.