ශානි අබේසේකරට ආරක්ෂාව නොදීම ගැන තොරතුරු මුදා හරින්න නියෝග ; පනත උල්ලංඝනය කිරීම ගැන පොලිසියට කොමිසමෙන් දොස්

ශානි අබේසේකරට ආරක්ෂාව නොදීම ගැන තොරතුරු මුදා හරින්න නියෝග ; පනත උල්ලංඝනය කිරීම ගැන පොලිසියට කොමිසමෙන් දොස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ආරක්ෂාව ලබා දෙන ලෙසට දැනුම් දෙමින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය පොලිස්පතිට එවූ ලිපියේ පිටපත්, එම ආරක්ෂාව ලබා නොදී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිට යොමු කරන ලදැයි කියන ලිපියේ පිටපත ඇතුළු තොරතුරු දෙසැම්බර් 12 වැනිදාට පෙර මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියට නියෝග කළේය.

තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එලෙස නියෝග කළේ අදාල තොරතුරු ඉල්ලමින් ජනමාධ්‍යවේදියකු වන තරිඳු ජයවර්ධන ශ්‍රී ලංකා පොලිසියට කළ තොරතුරු ඉල්ලීමකට තොරතුරු ලබා නොදීම සම්බ්නධයෙන් පැවැති අභියාචනා විභාගයක තීන්දුව ලබා දෙමිනි.

මෙම අභියාචනය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥවරුන්වන කිෂාලි පින්ටෝ- ජයවර්ධන, ජගත් ලියන ආරච්චි සහ ඒ එම් නහියා යන කොමසාරිස්වරුන් ඉදිරියේදී විභාගයට ගැණිනි.

ශානි අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස දැනුම් දෙමින් වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය පොලිස්පති වෙත යොමු කළ ලිපියේ සහතික පිටපතක්, එම ලිපිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා සිය නිරීක්ෂණ ලබා දුන් ලිපියේ සහතික පිටපතක්, මෙම කාරණය සම්බන්ධයෙන් එනම් අබේසේකර මහතාට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස දන්වමින් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට යොමු කළ ලිපියේ සහතික පිටපතක්, අබේසේකර මහතාට ආරක්ෂාව ලබා නොදී ඒ වෙනුවට අමාත්‍යංශ ලේකම්ගේ උපදෙස් පැතූ බව සඳහන් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්පතිවරයාට යවන ලද ලිපියේ සහතික පිටපතක් සහ පොලිස්පතිවරයාගේ ලිපිය මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවශ්‍ය ආරක්ෂාව නොදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය දැනුම්වත් කර තිබේද යන්න ගැන ඇතුළු අයිතම හතක් යටතේ තොරතුරු ඉල්ලමින් තරිඳු ජයවර්ධන විසින් මෙම තොරතුරු ඉල්ලීම පොලිස් මූලස්ථානයේ තොරතුරු නිලධාරියා වෙත යොමු කර තිබිණි.

අදාල තොරතුරු ඉල්ලීමට සහ ඊට අදාලව පොලිස්පතිවරයාට යොමු කරන ලද අභියාචනයට අදාලව නිසි කාලසීමාවේදී ප්‍රතිචාර දක්වා නැති බවට කොමිසම නිරීක්ෂණය කරන බවත්, තොරතුරු පනතේ 24, 25 සහ 31 වගන්ති මගින් තොරතුරු නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ අභියාචන නිලධාරියා වන පොලිස්පති ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැර ඇති බවත් තොරතුරු කොමිසම සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

දිගින් දිගටම මේ ආකාරයට තොරතුරු පනතේ විධිවිධාන උල්ලංඝණය කිරීම තොරතුරු කොමිසමට සැහැල්ලුවෙන් සැලකිය නොහැකි බවත්, පනතේ විධිවිධාන යථා පරිදි ක්‍රියාවට නැංවීමට පොලිසිය අසමත්වන්නේ නම් පනතේ 38 වැනි වගන්තිය යටතේ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කොමිෂන් සභාවට සිදුවන බවත්, මින් ඉදිරියට පනතේ විධිවිධාන උල්ලංඝනය වීම වලක්වා ගැනීමට තොරතුරු නිලධාරියා සහ පොලිස්පතිවරයා ක්‍රියා කළ යුතු බවට තරයේ අවධාරණය කරන බවත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සිය තීන්දුවේ දක්වා තිබේ.

ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලා ඇති තොරතුරු ඉල්ලීමට අදාලව පොලිස්පතිවරයා නියෝජනය කරමින් කරුණු දැක්වීමටවත් හැකි උසස් පොලිස් නිලධාරියකු අභියාචනා විභාගයට කොමිසමට එවා නැති බවත්, එවා ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු පමණක් බවත්, පොලිසිය මෙය සැහැල්ලුවෙන් ගෙන ඇති බවට පෙනී යන බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ කොමිෂන් සභාව අදාල තොරතුරු දෙසැම්බර් 12 වැනිදාට පෙර කොමිසමටද පිටපතක් සහිතව මාධ්‍යවේදියාට මුදා හරින ලෙස නියෝග කළ අතර එලෙස මුදා නොහැරියහොත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද තීරණය කළේය. කොමිසමේ මෙම තීන්දුව පොලිසියට සහ මාධ්‍යවේදියාට යොමු කරන ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ට දැනුම්දුන්නේය.