ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් රඳවාගත් අය ගැන තොරතුරු මුදා හරින්න නියෝග

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් රඳවාගත් අය ගැන තොරතුරු මුදා හරින්න නියෝග

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඇතුළු තොරතුරු ඔක්තෝබර 28 වැනිදාට පෙර මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග කළේය.

මෙම තොරතුරු නිශ්චිත කාලය ඇතුළත ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියට සහ තොරතුරු නිලධාරීට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව ද කොමිෂන් සභාව තීරණය කළේය.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව එලෙස නියෝග කළේ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා ගොනු කළ අභියාචනයක් විභාග කිරීමෙන් පසු තීන්දුව ලබා දෙමිනි.

2019 සිට 2021 නොවැම්බර් දක්වා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටි සංඛ්‍යාව, ඔවුන්ගේ වයස් ඛාණ්ඩ, ස්ත්‍රී සහ පුරුෂ වෂයෙන් සංඛ්‍යාව ඇතුළු තොරතුරු ඉල්ලමින් පොලිස් මූලස්ථානයට තොරතුරු දැන ගැනීමේ පනත වටතේ තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබිණි.

කෙසේ වෙතත් පොලිස් නීති කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශන ගාල්ලගේ මහතා පිළිතුරු ලිපියක් එවමින් සඳහන් කර තිබුණේ නීතිඥවරයා ඉල්ලා සිටින තොරතුරු අදාල පනත යටතේ ‘තොරතුරු’ යන ඛාණ්ඩයට අදාල නොවන බවයි. ඊට එරෙහිව නීතිඥවරයා පොලිස්පතිට අභියාචනයක් යොමු කර තිබුණු අතර පොලිස්පතිවරයා සඳහන් කර තිබුණේ රාජ්‍ය ආරක්ෂාවට හෝ එහි භෞමික අඛණ්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට බරපතල ලෙස අගතිදායක විය හැකි බැවින් එම තොරතුරු ලබා දිය නොහැකි බවයි.

ඒ අනුව නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කළේය. එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු (විශ්‍රාමික) උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු (විශ්‍රාමික) රෝහිණී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටො ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් ලියන ආරච්චි යන කොමසාරිස්වරුන් ඉදිරියේදී විභාගයට ගැණිනි.

පොලිසිය මෙම තොරතුරු ජාතික ආරක්ෂාව යටතේ ප්‍රතික්ෂේප කරන්නේ කුමන පදනමකින්ද යන්න එහිදී කොමිෂන් සභාව විමසූ අතර අභියාචනා විභාගයට සහභාගී වූ පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත පිටියකුඹුර මහතා ප්‍රකාශ කළේ මෙම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සඳහා වන ස්ථාවරයේ පොලිසිය සිටින බවයි. ඊට අදාලව හේතු පැහැදිලි කිරීමක් සිදු කළේ නැත.

ඒ අනුව කොමිෂන් සභාව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ නීතිඥවරයා ඉල්ලා සිටින තොරතුරු මුදා හැරීම මගින් ජාතික ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවයට බලවත් අගිතයක් නොවන බවට තීරණය කරන බවයි. මෙවැනි තොරතුරු මුදා හැරීම ප්‍රශන්සනීය සහ සමාජයේ යහපත් වටපිටාවක් ගොඩ නැගෙන බැවින් පොලිසිය එම තොරතුරු මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීම එවැනි වටපිටාවක් නොඩ නැගීමට එරෙහි වීමක් බව ද කොමිෂන් සභාව සිය තීන්දුවේ සඳහන් කළේය.

මීට අදාල සම්පූර්ණ තීන්දුව පහත දැක්වේ.