පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු හතරකට පසු එළියට ආ මලල්ගොඩ වාර්තාව

පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු හතරකට පසු එළියට ආ මලල්ගොඩ වාර්තාව
වසර හතරක් තිස්සේ එළියට නොදා තබාගෙන සිටි පාස්කු ප්‍රහාරය ගැන සෙවූ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රමුඛ කමිටු වාර්තාවේ කොටසක් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මුදා හැරියේය. මෙම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස කාදිනල් හිමි ඇතුළු විශාල පිරිසක් අවස්ථා ගණනාවකදී ඉල්ලීමක් කළත් එය ප්‍රසිද්ධියට පත් කළේ නැත. එසේ හෙයින් සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම 2022 පෙබරවාරි මස 07 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලීමක් යොමු කරමින් මෙම වාර්තාව ඉල්ලා සිටියත් විවිධ හේතු දක්වමින් එය ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් කළ අතර එම අභියාචනය අතරතුරදී මෙම වාර්තාව ලබා දිය නොහැකි තොරතුරක් සේ ජනාධිපති ලේකම් කාර්යාලය පෙන්වාදීමට උත්සාහ කළේය. කෙසේ වෙතත් නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ ඇතුළු පර්යේෂණ කණ්ඩායම මෙම වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු බවට දීර්ඝ ලෙස කරුණු දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බව පෙන්වා දුන්හ. ඒ අනුව මෙම වාර්තාව තොරතුරු පනත යටතේ මුදා හැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය එකඟ වීමෙන් පසු කොමිෂන් සභාවට ද පිටපතක් සහිතව එය පෙබරවාරි 09 වැනිදාට පෙර මුදා හැරීමට කොමිෂන් සභාව නියම කළේය. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය වසර 04කට පසු මුල් වරට විජිත් මලල්ගොඩ කමිටු වාර්තාව නිල වශයෙන් ලබා දුන්නේය. ලබා දුන් වාර්තාව පරීක්ෂා කරද්දී පෙනී ගියේ එහි ඇත්තේ විධායක සාරාංශය සහ නිර්දේශ ඇතුළත් කොටස පමණක් බවයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු කොමිෂන් සභාවට දැනුම්දී තිබේ. සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙත ලැබුණු වාර්තාව පහත දැක්වේ. DOC-20230202-WA0087.
තව කියවන්න